Breaking News

Friday, October 10, 2014

ධර්මරාජ්‍ය වල දමන දේවරාජ්‍ය මෙහෙයුම


සිංහල බෞද්ධ ජනතාවට පමුණුවන ලද වධ හිංසා පිළිබඳව පෘතුගාලයේ රාජ්‍ය ලේඛනවල ඇති මූලාශ්‍ර උපයෝගී කරගනිමින් විග්‍රහයක යෙදෙන පෘතුගීසි ජාතික පූජකවරයෙකු වන ක්වේරොස් මෙසේ පවසයි.

"ආසියාවේ කතෝලික මධ්‍යස්ථානය බවට පත්කර ගැනීම සඳහා සෑම සුදුසුකමක්ම තිබූ ලංකාව පෘතුගීසින්ට අහිමි වූයේ ආගම පැතිරවීම සඳහා ඔවුන් විසින් අනුගමනය කළ ක්‍රියාදාමයයි. මේ නිසා දෙවියන් වහන්සේගේ ශාපයට ගොදුරු වීමට පෘතුගීසින්ට විය." යනුවෙන් එහි දක්වා තිබේ. බුද්ධ ශාසනයට එරෙහිව ක්‍රියාත්මක වන අන්‍යාගමික සංවිධානවල ක්‍රියාකාරීත්වය සෙවීම සඳහා වන 2002 ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දුන් බොහෝ දෙනෙකු පවසා තිබුණේ එසේ 16 වන සියවසේදී බොඳවී ගිය ලංකාව ආසියාවේ කතෝලික මධ්‍යස්ථානය කර ගැනීමේ සිහිනය අවුරුදු 500 කට පසුව නැවතත් මතුකර ඇති බවයි. ඒ අනුව නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රෝමානු කතෝලික රෙපරමාදු සහ ලංකා සභා පල්ලිවලට වසර 500 ක් තුළ සපුරාගත නොහැකිවූ සිහල බෞද්ධයන් ක්‍රිස්තියානිකරණය කිරීම මෑතක සිට කතෝලික - ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් ශීඝ්‍රයෙන් සිදුකරගෙන යන ලබයි.

බෞද්ධ ජනතාව, ක්‍රිස්තියානි ආගම්වලට හැරවීමේදී බයිබල් පාඩම් මාලා මගින් හා ගෙන්ගෙට යන මිෂනාරීන් මගින් පහත දැක්වෙන කරුණු කෙරෙහි විශ්වාසය ඇති කරවීමට උත්සාහය දරනු ලබයි.

● මෝසෙස්ගේ දිව්‍ය රාජ්‍යය ඉතා ඉක්මනින් පහළව ලෝකයම එම අණසකට යටත්ව වේ.
● ඒ සඳහා සූදානම් වීමට යේසුස් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුය.
● බයිබලය වනාහි පරම විශ්වාසය මෙන්ම දිව්‍ය භාෂිතයද වෙයි.
● මුළු ලොවම අවබෝධ කරගැනීමට හා ජයගැනීමට බයිබලයම පාදක වන්නේය.
● අධ්‍යාපනය බයිබලය ඔස්සේම සිදුකළ යුතුය.
● ක්‍රිස්තියානි ධර්මය වැළඳ ගැනීමෙන් සර්වාර්ථ සිද්ධිය ඇතිවන්නේය.

යනාදිය ඉන් කිහිපයකි.

වතිකානුවේ උපදෙස් මත ජාත්‍යන්තර මූල්‍ය සම්පත් උපයෝගී කොට ගනිමින් සංවිධානත්මකව සහ සැලසුම් සහගතව බෞද්ධයන් ක්‍රිස්තියානියට හැරවීමට ක්‍රියාමාර්ග දියත්වෙමින් තිබේ. මේ බව තහවුරු කෙරෙන ලිඛිත හා මුද්‍රිත සාක්ෂි බොහෝය. මුළු ලෝකයම ක්‍රිස්තියානියට හැරවීමේ ව්‍යාපාරයේ නායකයාවූ ජෝශප් කාර්ඩිනල් ටොම්කෝ නමැති පූජකවරයා වතිකානුවේ සිට මෙහි පැමිණ ඔහුගේ සහභාගීත්වයෙන් මහනුවර අම්පිටියේ ජාතික සෙමනේරියේදී 1990 ජූලි 22 – 29 දක්වා සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ. කතෝලික සභාව මගින් සතිපතා පළකරනු ලබන "මැසෙන්ජර්" 1990 ඔක්තෝබර් 14 වන දින සඟරාවේ මුල්පිටුවේ මේ පිළිබඳව පළ වූ වාර්තාවට අනුව සම්මන්ත්‍රණයේ අරමුණු වී ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකාවේ හා ආසියානු රටවල කතෝලික පියවරුන් මිෂනාරි කාර්යභාරය පිළිබඳව අවලෝකනය කොට ඒ පිළිබඳ උපාය මාර්ග සලකා බැලීමයි. මහනුවර පියාෂෝ උද්‍යානයේ පිහිටුවා ඇති "ලයිට් හවුස්" දේවස්ථානය භාර දේවගැති වර්ගිස් චාන්ඩ් විසින් සිය අත්සනින් යුතුව 1995.08.01 දින බෙදා හැර ඇති ලිපියක මෙසේ සඳහන් වේ.

"2000 වර්ෂයට තව දින ඇත්තේ 4000ක් පමණි. එම වර්ෂය, ශ්‍රී ලංකාවේ අස්වැන්න නෙළාගන්නා කාලය බව අපගේ අවංක විශ්වාසයයි."

"ක්‍රිස්ටියන් මිනිස්ට්‍රිය" නම් සංවිධානයේ වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා 1987 අගෝස්තු මස නිකුත්වූ "ඩිරෙක්ෂන්" නමැති මාසික සඟරාවට ලිපියක් සපයමින් මෙතෙක් තම ග්‍රහණයට හසු නොවූ ජනකොටස් 16ක් හඳුනාගෙන ඔවුන් ක්‍රිස්තියානියට හැරවීම සඳහා විශේෂ ප්‍රයත්නයක් දැරිය යුතු බව ප්‍රකාශ කොට තිබේ. මෙසේ හඳුනාගෙන ඇත්තේ:

● ආදර්ශ ගම්මානවල හා උදාගම්වල වැසියෝ
● මහවැලි වැනි අලුත් ගම් වැසියෝ අවතැන්වූවෝ
● සිරකරුවෝ
● මත්ද්‍රව්‍යය ලෝලීහු
● උගත් බෞද්ධයෝ
● පැල්පත්වාසි මුස්ලිම්/මැලේ ජනයා
● ද්‍රවිඩ වතු කම්කරුවෝ
● ධීවරයෝ
● සැඬොල්
● අහිකුණ්ඨිකයෝ හා වැදි ජනයා
● නාගරික පැල්පත්වාසීහු
● සරසවි ශිෂ්‍යයෝ
● ගණිකාවෝ
● ආරක්ෂක අංශවල හමුදා නිලධාරීහු මෙන්ම
● ත්‍රස්තවාදීහු ද වෙති.

2001 ජුනි 24 වන දින ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලිකල් ආයතනය මෙරට වසර 50 ක් තිස්සේ කරන ලද සේවය පිළිබඳ කටයුතු සමරන අවස්ථාවේදී එම ආයතනයේ මහ ලේකම් ගොඩ්ප්‍රි යෝගරාජා මහතා මෙසේ ප්‍රකාශ කර ඇත.

"දුෂ්කරතා රාශියක් මධ්‍යයේ ශ්‍රී ලංකාව, ජේසුතුමා වෙත හැරවීමේ ක්‍රියාදාමයෙහිදී අපි බලසම්පන්න වී ඉදිරියෙන් සිටිමු. මෙම කර්තව්‍යය විශ්වාසයේ ගමනකි. දේව මහිමයේ කතාවකි. නිවිය නොහැකි ගිනි සිළුවකි. නොමැරෙන සිහිනයකි." රේඩියෝ බයිබල ක්ලාස් මිනිස්ට්‍රීස් යන ක්‍රිස්තියානි සංවිධානයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය දෙහිවල පිහිටා ඇති අතර, මේ සංවිධානය මුළු ආසියාවේද, මැද පෙරදිග හා අප්‍රිකාවේ ආර්.බී.සී. මිනිස්ට්‍රීස් කේන්ද්‍රස්ථානය කර ක්‍රිස්තු ධර්මය මෙම සියලු ප්‍රදේශවල පැතිරීම සඳහා සැලසුම් කර ඇත. ආචාර්ය ඇලෙක්ස් ජී. ස්මිත් විසින් පවසන අයුරින් "විසි එක්වන සියවසේ ක්‍රිස්තියානි පල්ලිය මුහුණපාන විශේෂ අභියෝගය නම් ඉවසීමෙන්ද, දැඩි ප්‍රයත්නයෙන්ද, පාරිශුද්ධත්වයෙන්ද ක්‍රිස්තියානි නොවූ ඉතිරි විශාල බෞද්ධ ජනතාවට සමීපවීමය. මෙම බෞද්ධයන් ක්‍රිස්තියානිකරණය සඳහා යාච්ඤා කිරීමට, යෑමට, යැවීමට මුළු ආසියාවේම බෞද්ධයන් මූලධර්මවාදවලට හැරවීම සහ මුළු ආසියාවේම බෞද්ධයන් අතර පල්ලි පැළ කිරීමට මෙය දේව කැඳවීමකි. පසුගිය වසර එකසිය තිස්පහ තුළ OMF සංවිධානය බෞද්ධයන් අතර සේවය කර ඇත. මීළඟ ශතවර්ෂයේ ඔවුන් අතර දේව වචනය පැතිරවීම සඳහා අප සමග එක්වන්න" යනුවෙන් දක්වා තිබේ.

රැම්බෝ ලුවිස් සිය ග්‍රන්ථ ක්‍රිස්තියානිකරණය කිරීමේදී යෝජිත පිරිස් හැරවීමේ ක්‍රම 06 ක් පෙන්වාදී තිබේ. එනම්.

● බුද්ධිමය හැරවීම,
● යම් අද්භූත දර්ශන හා ශබ්ද මාර්ගයෙන් මවිතයට පත් කිරීම,
● පොත්පත් ආදිය බෙදාදීමෙන් ආකර්ෂණය කරගැනීම,
● ආදරය කරුණාව දැක්වීම,
● ප්‍රසංග හා ආකර්ෂණීය දේශන පැවැත්වීම මෙන්ම
● බලහත්කාර ක්‍රම යෙදීම යනාදියයි.

ආගමට හරවා ගැනීමේදී මිෂනාරීන් උපයෝගී කරගන්නා අවස්ථාද රාශියකි. දුප්පත්කම, විරැකියාව, සමාජ අසාධාරණතා, පෞද්ගලික අමනාපකම්, ප්‍රේමය හා විවාහ සබඳතා, කායික හා මානසික ආබාධ, ත්‍රස්තවාදය නිසා අනාථවීම, උසස් පාසලකටම තම දරුවන් ඇතුළත් කිරීමේ අවශ්‍යතාව, ආගමට හැරවීමෙන් සමාජයේ උස් තැනක් ලබාගත හැකිය යන හැඟීම, බෞද්ධ සංස්කෘතියට පිටුපා නිදහසේ හැසිරීමට අවස්ථාව ලබා ගැනීම, මත්ද්‍රව්‍යය ලෝලීත්වය යනාදිය ඒ අතර වේ. සමාජ සේවා මුවාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රධාන අරමුණ ලෙස බෞද්ධයන් අබෞද්ධයන් කිරීමේ නිරතව සිටින රාජ්‍ය නොවන මූලධර්මවාදී සංවිධාන කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. 2002 වන විට මෙවැනි මූලධර්මවාදී ක්‍රිස්තියානි සංවිධාන 110 ක් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇත.

මේ වනවිට (2012) එවැනි සංවිධාන 400ට අධික ප්‍රමාණයක් රට පුරා විවිධ ස්වරූපවලින් ක්‍රියාත්මක වන බව සැලවේ. ඇමෙරිකා එක්සත් ජනපදයෙන්ද, බටහිර යුරෝපා රටවලින්ද, දකුණු කොරියාවෙන්ද, ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම සංවිධාන සිදුකරන කටයුතු විමසා බැලීමට කිසිවකු හෝ කිසියම් ආයතනයක් හෝ නැත. රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු බුද්ධ ශාසන අමාත්‍යංශය හා සෙසු අදාළ ආයතනවල අවධානය යොමු නොවීම ඉහත කී සංවිධානවලට ස්වකීය කටයුතු නිදහස්ව සිත් සේ කරගෙන යෑමට අනුබල ලැබීමක්ද වෙයි. මෙම සංවිධාන පිළිබඳ මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු බෞද්ධ සංවිධාන වරින්වර රජයට කරුණු පෙන්වා දුන් නමුදු එයින්ද ඵලක් වී නැත.

මෙම රාජ්‍ය නොවන සංවිධාන පසුගිය දශක කිහිපයක් තුළ බුද්ධ ශාසනය විනාශ කිරීමට පෙළගැසී ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බව පෙනේ. "ලෝක දර්ශනය ලංකා" හෙවත් "වර්ල්ඩර් විෂන් ලංකා" මෙබඳු එක් සංවිධානයකි. මොවුහු හෙළිදරව් නොකරන, මොවුන්ගේ සම්පූර්ණ නාමය වනුයේ "වර්ල්ඩ් විෂන් ක්‍රිස්ටියන් ඕගර්නයිසේෂන්" යනුයි. මෙය නොදියුණු හා සංවර්ධනය වෙමින් පවත්නා නික්ස් රටවල සංවර්ධනය සඳහා ජනතාවට සහනාධාර ලබාදීම සඳහාද දියත්කර ඇතැයි කියැවෙන ජාත්‍යන්තර ක්‍රිස්තියානි සංවිධානයකි. මේ සංවිධානය ඉටුකරන සෑම සමාජ සේවා ව්‍යාපෘතියකම ගැබ්වී ඇත්තේ ජනතාව ක්‍රිස්තියානිකරණය කිරීමයි. එහි සභාපතිවරයාගේ ප්‍රකාශයකින්ම ඒ බව පැහැදිලි වේ. "අපි සෑම ව්‍යාපෘතියක්ම සෑම වැඩසටහනක්ම විග්‍රහ කරමු. එවන් වැඩසටහනක් තුළ ක්‍රිස්තියානිකරණය කැපී පෙනෙන අංගයක් බවට අපි වගබලා ගනිමු. පුද්ගලයන් පෝෂණය කොට ඔවුන් අපායට යවන්නට අපට නොහැකිය.

" ලෝක දර්ශනය මගින් ලංකාවේ ඇතැම් දිළිඳු ජනතාවගේ දිළිඳුභාවය තුරන් කිරීමේ හා අසරණ ජනතාව සරණවීමේ මුවාවෙන් උඩවලවේ දේශයේ බෞද්ධයන් පනස් දෙනෙකුද, කැකිරාවේ බෞද්ධයන් සිය දෙනෙකුද බෞතිස්ම කරන ලද බව 1994 රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමට ඉදිරිපත් කොට තිබිණි. එහි "ලෝක දර්ශනය ලංකාව" සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවීම සඳහා දියත් කර ඇති "අබ ඇට ව්‍යාවපාරය" පිළිබඳවද විස්තරයක් ඇත. එම ව්‍යාපාරය මගින් බෞද්ධයන් බහුතරයක් වාසය කරන දුෂ්කර ප්‍රදේශවල පිට පළත්වලින් ගෙන එන ක්‍රිස්තියානි ජනතාව බෞද්ධයන් අතර පදිංචි කිරීමෙන් හෙවත් "පැළ කොට" පළමුව සමාජ සේවා මුවාවෙන් ඔවුන්ට සමීප වී පසුව ආගම් ප්‍රචාරයෙන් බෞද්ධ ජනතාව ක්‍රමනුකූලව ක්‍රිස්තියානියට හරවනු ලැබේ.

වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා විසින් ලියන ලද "අන්රීච්ඩ් පීපල්ස් ඔෆ් ශ්‍රී ලංකා" යන ලියවිල්ලෙහි පල්ලි ඉදි කිරීමේ ක්‍රමය මෙලෙස සඳහන් කොට ඇත.

"ශ්‍රී ලංකාවේ ගම් 25, 487ක් ඇත. ලංකාවේ පවත්නා එවැන්ජලික නිකායට අයත් සතිපතා සාමූහික රැස්වී යාච්ඤා සිදුකරන යාච්ඤා මධ්‍යස්ථාන 400කි. මින් 350ක් නගරවලද, 50ක් පමණ පිටිසර ප්‍රදේශවලද පිහිටා ඇත. අපගේ පරමාර්ථය විය යුත්තේ සෑම ගමකම පල්ලියක් "පැළ කිරීමයි." ග්‍රාමීය පල්ලියක් ගොඩනැගීමේදී අනුගමනය කළ යුතු ක්‍රම 14 ක්ද එහි දක්වා ඇත. එනම්,

1. නාගරික පල්ලියක් විසින් ගමක් තෝරාගෙන එහි කටයුතු සඳහා ක්‍රිස්තියානි දේවදූතයෙකු එහි පදිංචි කළ යුතුය.

2. දැනට පල්ලියක් තිබෙන ස්ථානයට එහා ගමක අලුත් පල්ලියක් පිහිටුවන විට කල්පනකාරී විය යුතුය. ගම් පළාත්වල ගමනාගමනය අපහසුය.

3. ගමක පල්ලියක් පිහිටුවීමේදී ක්‍රම කිහිපයක් අනුගමනය කළ යුතුය.

● ඒ ගම තුළ සාමාන්‍යය ගැමියෙකු ලෙස පදිංචි වන්න.
● දැනට විශ්වාසවන්ත පවුලක් සිටී නම් එම නිවසේ යාච්ඥා අරඹන්න.
● එසේ නැතිනම් විශ්වාසවන්ත පවුලක් ගමක පදිංචි කරවන්න.
● ඉන්පසු ඒ නිවසේ යාච්ඥා අරඹන්න.
● ගෙයින් ගෙට හෝ ප්‍රසිද්ධ තැන්වලට හෝ ගොස් පත්‍රිකා බෙදා එමගින් දොරටු විවෘත කරගත හැකිදැයි බලන්න.
● සෙනග සිටින පොළ දවසේ සුභාරංචි පණිවුඩ දෙන්න

4. දේව සේවකයා නාගරිකයෙකු නම්, ඔහු ගැමි ජීවිතයට හුරු විය යුතුය. ඔහු වෙසෙන ගෙය ගැමියන්ගේ මෙන් පොල්අතු මඩුවක් නම් හොඳයි. ළිඳෙන් නාන්න; ශ්‍රමදාන අවමංගල්‍ය වැනි වැඩවලට හවුල්වී සුභාරංචියට දොර ඇරගන්න.

5. දේවසභාව සඳහා පොල්අතු මඩුව සෑහේ. මුලදී ලොකු ගොඩනැගිලි සෑදීම නිසා ගම්මුන් එරෙහි වූ වාර ගණන බොහෝය. කුරුස හෝ ආගමික සංකේත පිටතට පෙනීම තැබීමෙන් වළකින්න.

6, ගම්වල ක්‍රියාත්මක වන යක්ෂ බලය දුරු නොකළොත්, (බුද්ධ ප්‍රතිමා ඉවත් කිරීම) ආත්මවලට දෙවියන් වහන්සේ වෙත එන්නට නොලැ‍බේ.

7, ශුද්ධාත්ම බලයෙන් යක්ෂයන් දුරු කිරීම සඳහා කුමක් හෝ දීම යක්ෂ බලය බලපවත්නා ලංකාවේදී බොහෝ ප්‍රයෝජනවත්ය.

8. දේව සභාව මෙහෙයැවීමට ඇදහිලිවන්තයන් පිරිසක් තෝරාගෙන පුහුණු කිරීමට සමත්විය යුතුය.

9.ගැමි බෞද්ධයනට ජීවමාන ගැලවුම්කරුවෙකුගේ අවශ්‍යතාව තදින් දැනේ. බොහෝ වේලාවට ආගමට හැරීමට සිදුවන්නේ ජීවත්වීමට අවශ්‍යය දේ සපුරා දීමෙන් මිස ධර්මයෙන් නොවේ.

10. එළිමහනේ රැස්වීම් පවත්වන විට පරිස්සම්වන්න.

11. අලුත් ඇදැහිලිවන්තයන් ක්‍රිස්තියානි පවුල්වලට සම්බන්ධකර ශක්තිමත් කරන්න. ඔවුන් නැදෑයන් විරුද්ධ වනු ඇත. යක්ෂයා එවුන් ආපසු අන්ධකාරයට ගෙන යන්නට ඉඩ තිබේ.

12. හරවා ගැනීමට දෙන මුදල් හා වෙනත් ආධාර ගැන වැරදි අදහස් ඇතිවේ. විශ්වාසය තහවුරු වූ පසු පවුලේ අය සමග බෙදාගැනීමට ආධාර ලබාදෙන්න.

13. ගමක අලුත් පවුල්ද, එක් පවුලක අබෞද්ධ හවුල්කරුවෙකුද ඇති පවුල් තෝරාගන්න. විහාරයක් ආසන්නයේ ජීවත්වීමෙන් වළකින්න.

14. නාගරික ආගමික සභාවල අනවශ්ය් වියදම් අඩුකර ගම්බද දිළිඳු සභාවට උදව් කළ යුතුය.
යනාදිය එම ක්‍රමවේදයෝය.

මේ ක්‍රමවේද ඔස්සේ රට පුරා පල්ලි පැළ කරනු ලබන අතර, ළදරු පාසල් තුළින් ක්‍රිස්තියානිකරණය ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර මගින් ක්‍රිස්තියානිකරණය, ප්‍රේම සම්බන්ධතා තුළින් දෙවියන් යාච්ඥා කිරීමෙන් ලෙඩ රෝග සුව කිරීමෙන් රැකී රක්ෂා ලබාදීමෙන්, ගම් පිබිදවීම, ක්‍රිස්තු ධර්මය පිළිබඳ පොත්පත් පත්‍රිකා බෙදාහැරීම සහ ගෙවල්වලට පැමිණ විවිධාකාර බලපෑම් මගින් මෙන්ම විවිධ කුමන්ත්‍රණ ඔස්සේ බෞද්ධයන් තුළ මහා සංඝරත්නය විෂයෙහි පවත්නා ශ්‍රද්ධාව, ගෞරවය බිඳහෙළීම ආදී ක්‍රමවේද ඔස්සේ බෞද්ධයන් අන්‍යාගමිකරණය කරනු ලැබේ.

මෙකී කාරණා සම්බන්ධයෙන් රජය සිය පූර්ණ අවබෝධය යොමු කොට කඩිනම් විසඳුම් ලබා දිය යුතුයි. ඕනෑම අයෙකුට තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහසක් ඇත. එහෙත් අයථාකාරයෙන් හෝ බලහත්කාරයෙන් අන්‍යාගම්කරණය කිරීමට අවසරයක් නැත. අන්‍යාගම්කරණය යනු බෙදුම්වාදයේ මූලයයි. ප්‍රධාන වාර්ගික සාධකයයි. එහෙයින් අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙපමණකි. ඕනෑම කපුටෙකු අපගේ හිසට ඉහළින් කාක් කාක් කියමින් පියසාර කළ හැක. එහෙත් ඌ අපගේ හිස පහුරු ගාන්නට හෝ හිස මත කූඩු තනන්නට ඉඩ දිය යුතු නැත. යම් හෙයකින් ඌ එසේ කරයි නම් වහාම ඉලපත හෝ මන්නය අතට ගැනීමට අප පසුබට විය යුතු නැත..

සටහන - පන්චන ජයසිංහ

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates