Breaking News

Friday, October 10, 2014

කතෝලික සභාවේ බෙදුම්වාදී නිරුවත

පසුගිය දෙසැම්බර් 8 දාතමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද එඬේරික අනුශාසනා පත්‍රය නම් ලියවිල්ලේ මාතෘකාව ලෙස සඳහන්ව ඇත්තේ ‘අප දේශය සමගි සංධානය තුළින් යළි ගොඩ නැංවීමක් කරා’ යන තේමාවයි. නත්තල් සමය අභියස සහෝදර කතෝලික ජනයා ඉතා සාමකාමී ලෙස නත්තල සමරන අතරතුර ඊට හාත්පසින්ව වෙනස් ස්ථාවරයක සිට සිදුකරන කතෝලික සභාවේ මේ ප්‍රකාශය නම් සමගි සංධානය ගොඩ නැගීම කෙසේ වෙතත් ජාතීන් අතර බෙදුම්වාදයත් අසමගියත් එකිනෙකා තුළ දුරස්ථභාවය තව දුරටත් වර්ධනය කරන දිශාවට යොමු කරවන ලියවිල්ලක් බව එය විමසිල්ලෙන් නිරීක්ෂණය කරන විට පෙනෙන කරුණකි. කතෝලික රදගුරු සභාවේ මේ මුග්ධ ස්ථාවරය අපගේ කතෝලික හිතවතුන් බොහෝ දෙනා අනුමත නොකරන බවට සැක නැත. ත්‍රස්තවාදී අනතුරෙන් බැටකෑ පසුගිය තිස් වසර පුරාවටම කතෝලික රදගුරුවරුන් බොහෝ දෙනා දැරූ ස්ථාවරය මෙයට වඩා වෙනස් නොවූ බව අපට මතකය. නමුත් ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කර සිව් වසරකට පසුත් නිර්මාණය වී ඇති අලුත් වටපිටාව තුළදීත් සුපුරුදු ස්ථාවරය බිඳකුද වෙනස් නොකර පරණ තැටිය එලෙසම නැවතත් වාදනය කිරීම එඬේරික ප්‍රකාශනයේ මාතෘකාවේ සඳහන් සමගි සමාදානය ඇති කිරීමට නම් කිසිඳු අනුබලයක් නොලැබෙන බව පැහැදිලිය.

ත්‍රස්තවාදයට එරෙහි සටන පැවති කාලය මොවුන්ගේ මේ ස්ථාවරය බාහිර සමාජයට හොඳින් දැක ගැනීමට ලැබුනු අවස්ථාවකි. නමුත් වෙනස ඇත්තේ එකල එය සමාජගත කළේ කතෝලික සභාවේ නිල මතය ලෙස නොවේ. යම් යම් පූජකයන් හරහා හුදකලා මතයන් ලෙසයි. විශේෂයෙන් මේ විවාදිත එඬේර ප්‍රකාශනයටද අත්සන යොදා ඇති රායප්පු ජෝසප් මන්නාරම රදගුරුවරයාගේ ක්‍රියා කලාපය කොටි දේශපාලන අංශයටත් එහා යමින් කොටි සන්නද්ධ අංශයේ තවත් බලඇණියක් යැයි සිතෙන තරමට අලජ්ජී විය. ශුද්ධ වූ මඩු දේව ප්‍රතිමාව පවා ඒ දෝහී ත්‍රස්ත උවමනාව වෙනුවෙන් භාවිතා කිරීමට තරම් එකල මන්නාරම රදගුරුතුමා පසුබට නොවීය . එතකඳුද නොවේ , පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා යටතේ දඬුවම් දිය යුතු යැයි ඉල්ලීමක් කළේද මේ රායප්පු ජෝසප් රදගුරුතුමා ඇතුළු පූජකවරුන් 31 දෙනෙකි. නමුත් මේ පූජකවරු කණ්ඩායමම දෙමළ ජාතිකයන් බවත් , එය ඔවුන්ගේ පෞද්ගලික මතය මිස කතෝලික සභාවේ නිල මතය නොවන බව ඇඟවීමට එකල සමහරුන් උත්සාහ කළහ. මැල්කම් රංජිත් අගරදගුරුවරයා එකල එසේ හැඟෙන පරිදි ජිනීවා සමුළුව පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ බවද අපට මතකය. එකල පිටතට පෙනුනේ රායප්පු ජෝසප් රදගුරුතුමා කතෝලික සභාවද ඉක්මවා යමින් හිතුවක්කාර ලෙස කටයුතු කරන බවකි. නමුත් දැන් නිකුත්ව ඇති මේ ‘එඬේරික ප්‍රකාශයෙන්’ එය කෙතරම් සදොස් නිගමනයක් ද යන්නත් කතෝලික සභාවේ හැසිරීම බෙදුම්වාදය ශක්තිමත් කිරීමේ දිශානතියට කෙතරම් උපකාරී වන්නේද යන්නත් හොඳින්ම පැහැදිලි වේ.

ආගමික සභාවක් විවේචනය කිරීමට අප සතුටු නැත. ඒ අපගේ සහෝදර කතෝලික බැතිමතුන්ගේ සිත් කම්පාවේය යන කණගටුව නිසාය. එහෙත් කතෝලික සභාව තමන්ගේ සීමාව ඉක්මවා බොහෝ දුර ගොස් ඇති නිසා සාමය වෙනුවෙන් දිවි පිදු දස දහස් ගණනක් රණ විරුවන්ගේ රුධිරයට ඇති ණයගැති භාවය වෙනුවෙන් හා අනාගතයට ගිනි තැබීම වළක්වා ගැනීමේ යුතුකම ඉටු කිරීමට අකමැත්තෙන් වුවත් සිදු වී ඇත. මෙමගින් කතෝලික සහෝදරයන්ට කිසියම් සිත් තැවුලක් ඇති වේ නම් අප ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන අතරම කතෝලික රදගුරු සභාවේ මේ අසාධාරණ ආධානග්‍රාහී හැසිරීම ප්‍රශ්න කළ යුත්තේ සැබවින්ම අප නොව ඔබ විසින්ම බව අපි විස්වාස කරන්නෙමු. ඔබ විසින්ම රදගුරු සම්මේලනයේ මුසාවන් ප්‍රශ්න කරනවා නම් අපි පැත්තකට වී සිටීම ඉතා කැමැත්තෙන් තෝරා ගන්නෙමු.

සිංහලත්වය බලෙන් පැටවීද ?

එඬේරික ප්‍රකාශනයේ 6 වැනි පිටේ එක් තැනක මෙලෙස සඳහන් වේ.
“අනෙකුත් සුළු ජාතීන්ගේ සංස්කෘතීන් මත සිංහල භාෂාවේ සහ සංස්කෘතියේ ආභාෂය පැටවීම හේතුකොට ගෙන ජාතික එක්සත් කම බිඳ වැටීමක් සිදුවිය. මේ සියල්ලේම කණගාටුදායක ප්‍රතිඵලය වුයේ, මිනිස් ජීවිත දහස් ගණනක් අහිමි කළ, දේපල විනාශ කළ, සම්පූර්ණ ජන සමාජයක් අවතැන් කළ, ආර්ථිකය එක තැන පල් වීමට සැලැස් වූ, අර්ථ විරහිත යුද්ධයක් වෙනුවෙන් රටේ සම්පත් විශාල ප්‍රමාණයක් නාස්ති කළ, ප්‍රචණ්ඩ අර්බුදයකි”

මේ ප්‍රකාශයේ බරපතල කෲරභාවය ලෝගුවෙන් සඟවා ගත නොහැක. සිංහලයන් සිය සංස්කෘතිය බලෙන් පටවා ඇත්තේ කා මතද? රදගුරු සම්මේලනය කිසිදු සාක්ෂියකින්, කරුණූ දැක්වීමකින්, හා තර්කයකින් තොරව මෙවැනි සාහසික නිගමනයකට නිකම්ම එළැඹෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි නම් විය නොහැක. එකට ජීවත්විමේදි අපි සියළු ජනවර්ගයන්ගේ සංස්කෘතීන්ගෙන් ආභාෂය ලබා ගනිමු. සිංහලයන්ද දෙමළ සංස්කෘතියේ හා භාෂාවේ ආභාෂය ලැබූ තැන් බොහෝය. එය ස්වභාවිකය. අනෙක් සංස්කෘතීන් බලෙන් පැටවීම එතරම් වේදනාවක් නම් තමන් ලෝගු ඇද සිටින්නේ කෙසේදැයි අපි නොඅසා සිටින්නේ කෙසේද?

රදගුරු සම්මේලනයේ අත්සනින් මේ කියන්නේ 40 දශකයේ චෙල්වනායගම්ලා විසින් අධිරාජ්‍යවාදීන්ගෙන් ලද උත්තේජනය හරහා උඩට ගන්නා ලද එතැන් පටන් දෙමළ බෙදුම්වාදීන් කර තබාගෙන පැමිණ ප්‍රභාකරන්ට භාරදුන් හන මිටියම නොවේද? ජාතික එක්සත්කම බිඳ වැටුනේ වෙනකක් නිසා නොව අධිරාජ්‍යවාදීන් විසින් ඇති දැඩි කර පෝෂණය කරන ලද දෙමළ බෙදුම්වාදී ජාතිවාදය නිසාය යන්න සාම වෙළඳුන්ට නොතේරෙන සරල සත්‍යයයි. සර්වජන ඡන්ද බලයත් සමග මධ්‍යය තුළ තමන් අධිරාජ්‍ය අනුග්‍රහය මත බුක්තිවිඳි අසමමිතික බලය ගිලිහෙන බව කල් තියා දුටු චෙල්වනායගම්ලා ප්‍රමුඛ දෙමළ ජාතිවාදයේ සීයලා දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටවූයේ දැන් ටිකක් පසුව හුඟක් යන බලය අත් පත් කර කරගැනීමේ සූත්‍රයද හඳුන්වාදෙමිනි. මැල්කම් රංජිත් පියතුමා ප්‍රමුඛ කතෝලික රදගුරු සභාව මේ උත්සාහ කරන්නේ දෙමළ ජාතිවාදයේ වැරැද්ද සඟවා ඒ හරහා දෙමළ ජාතිවාදෙයෙන් උපන් ත්‍රස්තවාදය නිසා සිදු වූ සියලු විනාශයන්ගේ පව් සිංහලයන් මත පටවා අත් සෝදා ගැනීමටය. එසේම ඒ හරහා ලබන ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර අභිලාෂ මත ක්‍රියාත්මක මෙහෙයුම සාධාරණීකරණය කිරීමද මේ එඬේරික ප්‍රකාශනය හරහා අපූරුවට සිදුවෙයි.එය ඉදිරි මාස කිහිපය තුළදී හොඳින් පැහැදිලි වනු ඇත.

පරාජිත බලය බෙදීම නැවත වටයකින් පෙරට ගෙන ඒම

එඬේරික ප්‍රකාශනයේ තවත් තැනක මෙලෙස සඳහන් වේ.
“යුද්ධය විසින් LTTE යේ භීෂණකාරී ක්‍රියාකාරකම් අවසන් කරනු ලැබුව ද උතුරේ ද්‍රවිඩ ජන සමාජය මුහුණ දුන් ගැටලූවලට සෑහීමකට පත්විය හැකි දේශපාලන විසඳුමක් ලැබී නැති නිසා දිගටම අසහනකාරී හැඟීමක් කැකෑරෙමින් පවතින්නේය යන්න අපගේ මතයයි.උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට බලපාන ගැටලූ වලට දේශපාලනිකව පිළිගත හැකි, නමුත් ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් සොයා ගැනීම පිණිස, රජය කල් දැමීමකින් තොරව එම ප්‍ර දේශ වල ද්‍රවිඩ දේශපාලන පක්ෂ සමග සංවාදයක් ආරම්භ කළ යුතුය. එම විසඳුම පළාත්වලට ඵලදායී සහ ශක්තිමත් බලය බෙදීමක් මත පදනම් විය යුතුය යන්න අපගේ හැඟීමයි. “

යුද්ධයෙන් පසු උතුරේ ජනතාව දේශපාලන විසඳුමක් නැති නිසා අසහනකාරීව සිටින්නේ යැයි රදගුරු සම්මේලනය පවසන්නේම උතුරේ සාමාන්‍ය දෙමළ මිනිසුන්ගෙන් වචනයක් හෝ විමසාද ? එසේත් නැත්නම් දෙමළ ප්‍රභූ දේශපාලන පැලැන්තිය ඉල්ලන ඊනියා බලය බෙදීම නොලැබුන නිසාද ?

බලය බෙදීම යන මතය මෙරට දේශපාලනය තුළ වාර ගණනාවකදී තීරණාත්මකව පරාජය කර ඇති අද වන විට දර හැවක් බවට පත්ව ඇති පරාජිත මතවාදයකි . එසේ වුවත් වරින් වර එය නැවත කතා බහට ලක් වන්නේ බටහිර අධිරාජ්‍යවාදී බලය ඒ වෙනුවෙන් යොදන ඉමහත් ශක්තිය නිසයි. මේ බටහිර ත්‍රාඩ බලය නොවන්නට ‘බලය බෙදමු’ යන මතය මිය ගොස් එතැන ගසුත් පැලවී හමාරය. ‘රට නොබෙදමු – බලය බෙදමු ‘ යැයි බෝඩ් ලෑල්ල දමාගෙන බෙදුම්වාදය දෙසට එකල දක්කාගෙන ගිය ගිය තවලමට අද නැවතත් පණ දීම තුලින් සිදුවන්නේ දහස් ගණන් විරුවන් දිවි දී ලබාගත් නිදහස දේශපාලන කෛරාටිකයන්ට පාවාදීම හැර වෙනකක් නොවේ. එබැවින් උතුරේ දකුණේ කොයි පසත් සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය ජනයාට ඇති ජීවන ගැටළු විසඳන මඟක් සොයනු වෙනුවට බලය බෙදීමක් පිළිබඳ මොර දෙන්නේ යළි බෙදුම්වාදය පැල කර ඒ හරහා ඵල නෙලීමට බලා සිටින කෛරාටිකයන් පමණකි. කිලිනොච්චියේ සෙල්ලදොරෙයිට මෙන්ම වැල්ලවත්තේ වේලායුදන්ට ඇති ජීවිකාව සරි කරගැනීමේ ගැටලුව හෝ තමන්ගේ භාෂාවෙන් රාජකාරියක් කරගත නොහැකි වීමේ ගැටලුව ට විසඳුම් දෙනු විනා විග්නේෂ්වරන්ලාට හෝ ශ්‍රී ධරන්ලාට බලතල දීමෙන් ජාතික එක්සත් කම ඇති වේ යැයි පැවසිය හැක්කේ එවැනි කෛරාටිකයන්ටම පමණි.

බෙදුම්වාදය වෙනුවෙන්?

වෙනම රටක් වෙනුවෙන් ඉල්ලීමකට මූලිකම අවශ්‍යතාවය වන්නේ ජාතියක් සඳහා වෙන් වූ සුවිසේෂී නිශ්චිත භූමියක්‌ පැවතීමයි. එම කොන්දේසියට එම භූමියේ නිශ්චිත ජනතාවක්‌ ජීවත්වීම, වෙනම ආර්ථිකයක්‌ පැවතීම , ස්‌වාධිපත්‍යය පැවතීම යන කරුණු කාරණා එක්‌වූ විට වෙනම රාජ්‍යයක් සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා සම්පූර්ණ වේ. දෙමළ ජාතිවාදය මතු වූ චෙල්වනායගම් යුගයේ සිට ප්‍රභාකරන් දක්වා සියලු බෙදුම්වාදීන් උතුර හා නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ජනතාවගේ නිජ බිම යැයි හඳුන්වා ගත්තේ එබැවිනි. තිම්පු සාකච්චාවේ ඉල්ලූ මූලික ඉල්ලීම් වලින් එකක් වූයේද මේ නිජබිම් අයිතිය පිළි ගැනීමයි.ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව පවා එකල එය ප්‍රතික්ෂේප කළ නමුත් පසුව ඉන්දීයාව විසින් දෑත් පසුපසට බැඳ බලහත්කාරයෙන් අත්සන් කරවාගත් ඉන්දු ලංකා ගිවිසුමේද සාම්ප්‍රදායික වාසභූමි ලෙස හඳුන්වා ගත්තේ මෙයයි. මේ වාසභූමි කතන්දරය එන්නේ උතුරේ අහිංසක දෙමළ මිනිහාට එයින් ලැබෙන යමක් නිසා නොවේ. දෙමළ ජාතිවාදයට තම වෙනම රාජ්‍ය පිපාසය සංසිඳවාගැනීමට අවශ්‍ය මූලික ප්‍රවාදය සකසා ගත හැකි වන්නේ ඒ කොන්දේසිය උඩ පමණක් බැවිනි.වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීම සඳහා අවශ්‍ය මෙම නිජබිම් සංකල්පය එඬේරික ප්‍රකාශනයේ තවත් තැනක මෙලෙස සඳහන් වේ.

“කිසියම් ප්‍රදේශයක් තමන්ගේ සාම්ප්‍රදායික වාස භූමිය යැයි යමෙකු කියා සිටින්නේ නම් එහි ද කිසිදු වරදක් නැත.උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාස භූමිය ලෙස පිළිගත හැකි ලෙස සැලකීම සහ මෙම ප්‍රදේශ වල පරිපාලනය ඔවුන්ගේම නායකයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් මගින් සිදු කිරීම සාමයට සහ අනුකලනයට හෝ එක්සත් කමට බාධාවක් ලෙස සැලකීම අනවශ්‍ය යැයි අපි සිතමු. “

කිසිඳු බාහිර ඓතිහාසික සාධකයක් නොසලකා කිසිවෙකු යම් කිසි ප්‍රදේශයක් තමන්ගේ සාම්ප්‍රදායික වාසභූමි , එසේත් නැත්නම් නිජබිම් ලෙස හඳුන්වා ගැනීම කිසිඳු වරදක් නැතැයි තීරණය කිරීමට මැල්කම් රංජිත් අගරදගුරුවරයා ප්‍රමුඛ රදගුරු සම්මේලනයට බලය ලැබුනේ දෙවියන් වහන්සේගෙන්ද? ඓතිහාසික සාධක කිසිවක් නොසලකා පමණක් නොව මෑත කාලයේ පවා ත්‍රස්තවාදී දඬු අඬුවට හසු කරගෙන වසර 30 ක් පුරා කොටි සංවිදානය විසින් වාර්ගික ශුද්ධයක් කිරීමෙන් පසු තත්වය එලෙසම භාරගනිමින් රදගුරු සම්මේලනය මේ නිරුවත්ව පෙනී සිටින්නේ බෙදුම්වාදය වෙනුවෙන් මිස වනෙකකට නොවන බව තවදුරටත් සැඟවිය හැකි නොවේ. මේ එඬේරික ප්‍රකාශනයේ ජනපදකරණය සහ ජන ව්‍යුහය වෙනස් කිරීම පිලිබඳ තිබෙන සටහනයි.
” සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජන කණ්ඩායම් තුළ වේදනාවේ සහ කෝපයේ හැඟීමක් ඇති කිරීමට හේතු කාරක වන්නේ අන්‍යයන් විසින් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ හෝ සංවිධානාත්මකව හෝ ජනපද පිහිටුවීම මගින් කුමන හෝ ප්‍රදේශයක වාර්ගීක ජන ව්‍යුහය සැලකිය යුතු අයුරින් වෙනස් කිරීමට දරනු ලබන උත්සහය නිසාය. අවාසනාවකට ආරක්ෂක හමුදාවේ සෙබලූන් විශාල ප්‍රමාණයක් රැඳී සිටීම මගින් ද, ආරක්ෂක හමුදා පවුල් හා අනෙක් අය සඳහා නිවාස ගොඩනැගීම සිදුවේය යන බිය නිසා ද, උතුරේ යම් අස්ථාවර බවක් පවතින බව පෙනෙන්නට තිබේ. මෙය මුළුමනින් ම අනවශ්‍ය දෙයකි. “

නිජබිම් අයිතිය පෙන්වීමට උතුර හා නැගෙනහිර පෙදෙස්වල සිටි සිංහලයන් සහ මුස්ලිම් ජාතිකයන් කොතෙක් නම් ප්‍රභාකරන්ගේ ලේ පිපාසයට හසු වන්නට ඇත්ද? උතුරෙන් සිංහලයන් පළවාහැරියේ වාර්ගික ජන ව්‍යුහය වෙනස් කිරීමට නොවේද? එකල කතෝලික සභාව අඳ ගොළු බිහිරිව සිටියේද? අදද අවතැන්ව සිටින උතුරෙන් පළවා හැරි දෙමළ නොවන්නන් පිළිබඳ වචනයක් හෝ සඳහන් කිරීමට එඬේරික ප්‍රකාශනයට අමතක වූයේ කෙසේද? සංහිදියාව ඇති කිරීමේ මග මේ යැයි පවසමින් එක් කොටසක් සම්පූර්ණයෙන් අයින් කර දමා තමන්ගේ අභිලාෂ සම්පූර්ණ වන පාර්ශවය වෙනුවෙන් පමණක් නග්නව පෙනී සිටීමෙන් ඇති වන සංහිදියාවක් නැත. උතුරේ පමණක් නොව රට පුරාම ජනපද පිහිටවීම මෙන්ම ඒ කුමන පදනමකින්ද යන්න තිරණය කරන්නේ එඬේරික ප්‍රකාශනයෙන් නොවන බව පමණක් මතක් කරමු.

ත‍්‍රස්තවාදීන්ට බැඳි තවදුරටත් සැඟවිය නොහැකි පෙම..

එඬේරික ප්‍රකාශනයෙන්

“උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා සිවිල් ආණ්ඩුකාරවරුන් පත් කර මේ ප්‍රදේශ වල දිවි ගෙවන ජනයාට අනෙකුත් පළාත් මෙන් තම ප්‍රදේශ පරිපාලනය කර ගැනීමට ඇති නිදහසට සහ වගකීමට බාධා නොවන ලෙස කටයුතු කිරීම.

සෑම ජන වර්ගයකටම අයත් ජනතාවට තම මළගියවුන් සිහිපත් කිරීමට ඉඩදිය යුතු අතර, හමුදා සෙබලූන් සහ කැරලිකරුවන් යන දෙපිරිස අතරින්ම යුද්ධයේ දී මියගියවුන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීම අවශ්‍යය.”

උතුරේ ආණ්ඩුකාරවරයා පත් කිරීම ජනාධිපතිවරයා සතු කාර්‍‍යභාරයක් මිස රදගුරු සම්මේලනයේ වගකීමක් නොවේ. අනෙක් පසින් දැනට උතුරේ ආණ්ඩුකාරවරයා හමුදා සේවයේ සිටියේ මේ නිලය දැරීමට පෙර මිස හමුදා නිල ඇඳුමින් ආණ්ඩුකාරකම් කරන්නේ නැත. හමුදා සේවයේ සිටීම වෙන කිසිඳු නිලයක් දැරීමට නුසුදුසු කමක් යැයි රදගුරු සම්මේලනය තීරණය කරනේ දෙමළ බෙදුම්වාදී ඉල්ලීම මත පිහිටා මිස වෙනකක් නිසා නොවේ. අදද එල්ටීටී ඊ සන්නන්ධ සේවාවල නියුතු වූ ත්‍රස්ත සටන්කාමීන් කපටි සූට් ඇඳ පළාත් සභා , පාර්ලිමේන්තු නියෝජනය කිරීම පිළිබඳ රදගුරු සම්මේලනයට ප්‍රශ්නයක් නොවී හිටපු හමුදා නිළධාරියෙකු ආණ්ඩුකාරධූර දැරීම ප්‍රශ්නයක් වන්නේ එය ඊළම කරා යන ගමනේ පළමු කොන්දේසිය වී ඇති නිසා සහ බටහිරයන්ගේ ඒජන්තකම කතෝලික සභාවේ භුක්තියට සවි වී ඇති නිසා නොවේ යයි නොසිතන්නේ කෙසේද?

අනෙක් පසින් මළවුන් සැමරීම වියුක්තව සැලකූ විට ඉතා අහිංසක ඉල්ලීමක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් රාජ්‍යයක් තීරණ ගන්නේ මේ කේවල අහිංසක කම් මත නොවේ. දෙමළ ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ නොදෙන්නේ වෙනකක් නිසා නොව එමගින් උත්තේජනය වන දෙමළ ජාතිවාදය නැවතත් පසුගිය වසර තිහේ සිදු කළ විනාශය නැවත සිදු කරන්නට ඇති ඉඩ කඩ ඇහිරීමට මිස අහිංසක දෙමළ වැසියෙකුට තමන්ගේ ඥාතියෙකු සැමරීම ඇහිරීමේ පටු අරමුණින් නොවේ. යුද්ධය නිසා සෑම ජාතියකට අයත් මිනිසුන් මිය ගිය බව සැබෑය . නමුත් රදගුරු සම්මේලනය මේ ඉල්ලන්නේ එල්ටීටීඊ සාමාජිකයන් සංවිධානාත්මකව සැමරීමට ඉඩමිස වෙනකක් නොවේ . අල්කයිඩාව ත්‍රස්ත සංවිධානයක්ව තහනම්ව ඇති තත්වයක් යටතේ ඇමරිකාව , බ්‍රිතාන්‍ය තුළ අල්කයිඩා සාමාජිකයන් සැමරීමට ඉඩ ලැබේද ? රදගුරු සම්මේලනය දෙනෙත් හැර ලෝකය දෙස බැලිය යුත්තේ හොර නින්දෙන් ඇහැරීමෙන් පසුවය. එසේ නොවුනහොත් ලෝකය පුරා ඇති මේ නිදසුන් පෙනෙන්නේ නැත. ත්‍රස්තවාදීන්ට කැරළිකරුවන් යන ආදරණීය ආමාන්ත්‍රණය ලබා දීමෙන්ම කතෝලික රදගුරු සම්මේලනයේ බෙදුම්වාදයට ඇති පෙම සැඟවිය නොහැකි ලෙස එලියට පැන තිබේ.

සිංහලයන්ට හිමි තැන අහිමිවීම

අපට වැටහෙන අයුරින් නම් එඬේරික ප්‍රකාශනයේ මුග්ධම ප්‍රකාශය අඩංගු වන්නේ පහත පරිච්චේදයේය.

එනම්

“ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ශක්තිමත් ලෙස හඳුන්වා දිය යුතු අතර, පාසලේ දී තම මව්බස පමණක් නොව සම්බන්ධීකරණ බස වන ඉංග‍්‍රීසි භාෂාවට අමතරව ශ්‍රී ලංකාවේ භාවිත වන තම මව්බස නොවන අනෙක් ප්‍රධාන භාෂාව ද ඉගෙනීමට සියලූ පාසල් දරුවන් සහ යෞවනයින් උනන්දු කිරීම සහ දිරි ගැන්වීම වැදගත් වෙයි. විද්‍යාර්ථින්ට සරසවි උපාධි පිරිනැමීමේ දී ත්‍රෛභාෂාමය හැකියාව තිබීම කොන්දේසියක් බවට පත් කිරීම අවශ්‍යය යන්න අපගේ විශ්වාසයයි.ඊට අමතරව, ජාතික භාෂා පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු අතර රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා, විශේෂයෙන්ම ජනතාවගේ දෛනික ජීවිත සමග ගනුදෙනු කරන තනතුරු භාෂා තුනම ප්‍රගුණ කළ අයට පමණක් විවෘත කිරීම ද අවශ්‍යය. “

ත්‍රයි භාෂා බලහත්කාරය අද ඊයේ කතා බහට ලක් වූ මාතෘකාවක් නොවේ. එදා ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව තිබෙද්දී එ යට අනුකූලව හොර බළලුන් සේ සිටියවුන් බිරිතානීන්ට රට යටත් වීමට පෙර පැවති ආකාරයටම එනම් සිංහලය රටේ මූලික භාෂාව කිරීමට එරෙහිව පොලු මුගුරු අතට ගත් අතීතය අපට මතකය.මේ ත්‍රයි භාෂික බලහත්කාරය එහි තවත් දිගුවක් පමණකි.උතුරේ ජනයාට තමන් කැමති භාෂාවකින් කටයුතු කිරීමට ඉඩ දෙන්න යැයි පවසන දෙමළ ජාතිවාදීන් මෙන්ම බෙදුම්වාදීන් අනෙක් පසින් බහුතර සිංහල ජනයා මත ත්‍රයි භාෂා බලහත්කාරය පටවන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය . තම මව් බසෙන් කටයුතු කිරීම ජාතියක් නැගීමට අත්‍යවශ්‍ය කරුණක් බව පිළිගත් විද්‍යාර්ථ මතය වෙද්දී අපේ රටේ මේ ත්‍රයි භාෂික බහුබූතය පිළිලයක් සේ සෑම තැනකම පැතිරෙන්නේ අනාගතය දකිමින් නොවේ.

අනාගත රැකියා අවස්ථා ත්‍රයි භාෂික උගතුන්ට පමණක් යෝජනා කිරීම මගින් කතෝලික රදගුරු සම්මේලනය මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැගූ සිංහලයන්ට පයින් ගසා ඇති බව කණගාටුවෙන් යුතුව නමුත් කිව යුතුය. බ්‍රිතාන්‍ය තුළ සිටින ඉන්දියානුවන් නිසා බ්‍රිතාන්‍යයන් හින්දි බස ඉගෙන ගන්නේ නැති නමුත් ඉන්දියානුවන් ඉංග්‍රීසියට අවශෝෂණය වේ. ලෝකය පුරා නිදසුන් පෙන්වන්නේ මේ යථාර්ථයයි. එසේනම් ලංකාව තුළද බහුතරයේ භාෂාව ඉක්මනින් සුළුතර ජනයා වෙත සම්ප්‍රෙෂණය වීම සිදු වීම හරහා අනාගත රැකියා වෙළෙඳපළ තුළ සුළු ජාතික අධිපතීත්වය බලහත්කාරීව කූට ලෙස පැතිරවීම රදගුරු සම්මේලනයේ මේ මුග්ධ යෝජනාවේ අනිවාර්‍ය අවසන් ප්‍රතිපලය වේ.

මේ යොදන්නේ කුමන බලයද?

මන්නාරම රදගුරුවරයා එකල ත්‍රස්තවාදය සමග එක තුරුලේ සිට බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියේ ස්ව අභිමතය මත පමණක් නොවන බවත් බෙදුම්වාදය වෙනුවෙන් කතෝලික රදගුරු සම්මේලනයම එකාවන්ව පෙනී සිටින බවත් දැන් ප්‍රත්‍යක්ෂය. තමන්ගේ සීමාව දරුණු ලෙස ඉක්මවා යමින් කතෝලික රදගුරු සම්මේලනය මේ එඬේරීක ප්‍රකාශනය හරහා පෙන්වා ඇත්තේ තමන් පසුපස සිටින බටහිර ස්වාමිවරුන්ගේ හයිය මිස වෙනකක් නොවේ. ඉදිරි මාස කිහිපයේදී ජිනීවා හරහා රට වටලෑම ඇරඹෙන බව දුර සිට දන්නා මොවුන් මේ සැරසෙන්නේ ඒ බලහත්කාරයේ දේශීය වෙළුමට බව සැඟවිය හැකි නොවේ. රදගුරු සම්මේලනය යුක්තිය මේ යැයි අපට පෙන්වන්නේ ඔවුන් පසුපස ඇති මේ බලය මිස වෙනකක් නොවේ.එඬේරික ප්‍රකාශනයේම සඳහන් පහත වැකියේන් අපි මේ සටහන සමාප්ත කරමු.

“මකියාවෙලී නම් දාර්ශනිකයා හඳුන්වා දුන් ‘යුක්තිය යනු බලයයි’ යන අතිශය පහත් දේශපාලන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ම මගහැරිය යුතුවේ. “

මෙ ඔවදන රදගුරු සම්මේලනයේ ක්‍රියා කලාපයට හොඳින්ම ගැලපේ.

www.yuthukama.com
-කැලුම් නිරංජන. යුතුකම සංවාද කවය

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates